ස්වාධීන තත්ත්ව මණ්ඩල පනත් කෙටුම්පත පිළිබද උතුරුමැද කතිකාව ඉදිරිපත් වුණු පුරවැසි මතවාද

කතිකා 03_ ප්රවෘත්ති මාධ්ය තත්ත්ව පිළිබද ස්වාධීන මණ්ඩල පනත් කෙටුම්පත පිළිබද පුරවැසි සාකච්ජාව-උතුරුමැද කතිකාව

දිනය -2017.05 .28 ඉරිදා

වෙලාව - පෙ.ව. 10 සිට 12.30 දක්වා

ස්ථානය- ක්රෙස්කැට් හෝටලය,ගොඩගේ මාවත,අනුරාධපුර

පහසුකම් සැලසීම- ජනමාධ්ය ප්රතිව්යහගතකරණ ය සදහා වන ජාතික ලේකම් කාර් යාලය


ජනමාධ්ය නියාමනය හා පනත් කෙටුම්පත පිළිබද අනුරාධ්පුරයේදී පුරවැසියන්ගෙන් ඉදිරිපත් වුණු අදහස්, යෝජනා හා මතවාද

  • ප්‍රවෘත්ති වාර්තාකරණයේදී, බටහිර මාධ්‍ය හා සංසන්දනය කිරීමේදී ලාංකීය මාධ්‍ය හැසිරෙන ආකාරය යෝග්‍ය නොවේ. බින් ලාඩන් ගේ ඝාතනයේදී බටහිර රටවල මාධ්‍ය ත්, ප්‍රභාකරන්ගේ මරණයේදී මෙරට මාධ්‍යත් හැසිරුණු ආකාරයත් ඊට හොදම උදාහරණයයි.
  • ඝාතනයට /මරණයට පත් වූවන්ගේ ජායාරූප /ප්‍රවෘත්ති පළ කිරීමේදි ශික්ෂණයක් තිබිය යුතුයි.
  • මාධ්යවේදියා යනු ගිරවුන් මෙන් අනුන් පවසන දේ ලියාගන්නා කෙනෙක්ද නැත්නම් ප්‍රශ්න කර ජනතා ගැටලු විදාරණය කරන්නෙක්ද යන්නත් මාධ්‍ය සමාජය නිවැරදිව හදුනාගත යුතුයි.
  • සමහර ප්‍රවෘත්ති පළ කිරීමේදි නිශ්චිතව නම් කිරීමකින් තොරව "එක්තරා"යන නාමකරණයෙන් පුද්ගල නාමය වසන් කිරීම බහුලව දක්නට ලැබේ.මාධ්‍යවේදියා සතුව නිරවද්‍ය මූලාශ්‍ර තිබේ නම්, අදාළ නම් හෙළි කළ යුතුයි.
  • මණ්ඩල පනතෙහි 29(ආ )මගින් යෝජනා වන සාමාජිකයන්ට දැනටත් මාධ්‍ය පාලනයේ සෑහෙන බලයක් හිමිවන බව නොරහසකි.එනිසා ඔවුනට අමතරව ග්‍රාහකයන් නියෝජනය කරන සාමජිකයෙක්ද මණ්ඩලයට එක්විය යුත්තේය.
  • මාධ්‍ය ආයතනවල හිමිකාරීත්වය ලබාදීමේදි සලකා බලන නිර්ණායක සංඛ්‍යආවක් තිබිය යුතුය.
  • මණ්ඩලයේ අය-වැය පිටපතට සොරුන් යැයි නම් ලද මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමෙන්තුවෙහි අනුමැතිය කුමටද?එහි අවසන් ප්‍රතිඵලය වනු ඇත්තේ පාර්ලිමේන්තු අනුමැතිය ලබාගනු පිණිස අදාළ මහජන නියෝජිතයන්ට වක්‍රව සහයෝගයක් ලබා දෙන්නට මණ්ඩලයට සිදු වීමයි.
  • සමාජ මාධ්‍යයේ නිර්නාමිකව සංසරණය කෙරෙන ජායාරූප/ප්‍රවෘත්ති සම්බන්ධව පනතෙන් නියාමනයක් සිදු විය යුතුය.
  • මාධ්‍යකරණයේදී ආගම, සංස්කෘතිය,ගරුත්වය වැනි සාධක කෙරෙහි අවධානයට ලක්විය යුතුව තිබේ.
  • සමාජ මාධ්‍ය රටේ සංවර්ධනයට මිස අවවර්ධනයට හේතු නොවෙන පරිදි පවත්වා ගෙන යා යුතුයි.
  • මාධ්‍ය යේ තත්ත්වය හා ප්‍රමිතිය රැකගැනීම අතිශයින් වැදගත් ය. එවැනි කරුණු අරබයා ගෙන එන මෙම පනත ප්‍රශංසාත්මකව ඇගයිය යුතුයි.
  • ප්‍රවෘත්ති හා වෙළෙද දැන්වීම් පාසල් දරුවන්ගේ මනසට අහිතකරයි.ප්‍රවෘත්ති මගින් ප්‍රමුඛත්වය යෙදෙන්නේ සිද්ධියකින් පසුව වන මරණ සංඛ්‍යඅව වාර්තා කිරීමටයි.බටහිර මාධ්‍ය අනුගමනය කරන්නේ ඊට සපුරා වෙනස් පිළිවෙතකි. යුද වාර්තාකරණයේදී මරණ ගණනට දුන් ප්‍රමුඛ්තාව නිසා අද තරුණ පරපුර ප්‍රචණ්ඩකාරීව හැසිරීමේ ප්‍රතිඵල භුක්ති විදින්නට සමාජයට සිදුව ඇත.එලෙස මරණ දැක සතුටු වීම ලාංකීය සංස්කෘතියටද එරෙහි වීමකි.
  • මෙම කෙටුම්පත සම්මත කරගැනීමට කල් ඇරීම සුදුසු නොවේ. අවුරුදු ගණන් කල් පසු නොකළ යුතුයි.
  • ජනමාධ්‍-ග්‍රාහක අයිතීන් පිළිබද යහපත්ව සටන් වැදීම බලාපොරොත්තු සහගතයි.මාධ්‍ය මගින් අපේක්ෂා කර යුතු වන්නේ රටක සංවර්ධනයයි.මාධ්‍යට හික්මීමක් ලබාදෙනු පිණිස මෙබදු කෙටුම්පතක් ගෙන ඒම රටකට අනාගත ආයෝජනයකි.
  • ප්‍රවෘත්ති සහ වෙළෙද දැන්වීම්වලට අමතරව රටේ දරු පරපුරට දැඩි ලෙස බලපාන ටෙලි නාට්‍ය සම්බන්ධව නියාමනයක්ද අවශ්‍යයි. කුමන නාලිකාවකින් ප්‍රචාරය කළද වෙනත් රටවල නිෂ්පාදිත නාට්‍ය නැරබීම ළමා මනසට සුදුසු නොවේ.
  • මාධ්‍ය සාක්ෂරතාව දරිද්‍රතාවයෙන් පෙළේ. එහෙයින්,ප්‍රවෘත්ති,වෙළෙද දැන්වීමවලට සීමා නොවී පුළුල් ලෙස නියාමනයක් විය යුතුයි.
  • සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පාසල් විෂය නිර්දේශයද නියාමනයකට ලක් විය යුතුව ඇත.
  • මාධ්‍ය මගින් යහපත් දෙයට ප්‍රචාරයක් ලබාගැනීම දුෂ්කරයි,නමුත් සාපේක්ෂව නරක ප්‍රවෘත්ති සදහා වැඩි අවස්ථාවක් ලැබේ.
  • අමාත්‍යවරයා වෙනස් වෙද්දී ප්‍රතිපත්ති වෙනස් නොවී මාධ්‍ය නියාමනයට ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. නැත්නම් අධ්‍යයනට පෙරාතුව ප්රතිපත්තිය වෙනස් වන්නේ, සන්නිවෙදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේශය වෙනස් වන පරිදිය.
  • සමාජයට රස විදීමට සුදුසු යැයි කිව හැකි කිසිදු ජනමාධ්‍යයක් නොවේ.පොදු ජනතාවගෙ දේපළක් වන විද්‍යඋත් සංඛ්‍යආත මගින් සම්ප්‍රේෂණය කෙරෙන මාධ්‍ය ස්වාධීනද නැත. ජාතිවාදය අවුස්සනසුලුය.
  • මාධ්‍ය අතර ඇති තරගකාරිත්වය කෙතරම් උග්‍රද යත්, ආගමික වැඩසටහන් ද ප්‍රවෘත්ති විකාශනද වානිජකරණයට ලක් ව ඇත. ජනතාවගේ හිත සුව පිණිස අහිංසක ,දිළිදු ජනතා ප්‍රශ්න මාධ්‍ය මගින් ආවරණය නොකෙරේ.ස්ත්‍රිය වෙළෙද භාන්ඩයක් යන මතය සමාජයේ ප්‍රචලිත වීමටද මාධ්‍ය සෑහෙන දුරට වග කිව යුතුයි.
  • ලාංකීය මාධ්‍ය මේ මොහොතේ ඉතා තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ සිටී.මාධ්‍ය සම්බන්ධ ජනතා විශ්වාසය පළුදුව ඇත.
  • සමාජය"කුණු රසට" කැමතියි.එබදු ප්‍රවෘත්ති /ජායාරූප ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල නොමැත්තේ නම් ග්‍රාහකයා සමාජ මාධ්‍ය ජාලාවේ එය සෙවුමක නිරත වනු ඇති.
  • පවුලේ සියල්ලන් එක්ව නරබන නාට්‍ය නිසා තරුණ ජීවිත වරදට යොමුවේ.සියලු මාධ්‍ය එක්ව රටේ යහපතට කටයුතු කළ යුතුයි
  • සමහර පුවත්පත්වල මරණ වාර්තා කරනුයේ ජනතාවට සියදිවි නසාගැනීමට පෙළබිමේ ප්‍රවණතාවක් ඇති කරන අන්දමටය.
  • මාධ්‍ය ලෝකයේ කොන්ද පණ ඇති කතුවරුත්,කොන්ද පණ නැති ප්‍රධානීහුත් සිටින්නේ නම් මාධ්‍යය්ට යහපැවැත්මක් ඇතැයි කියමනක් තිබේ. ජයවීර කෙටුම්පතන් එවැනි සාධනීය වෙනසක් ඇති කරනු ඇත්තේය.
  • මාධ්‍ය හිමිකාරිත්වය දරන්නන් මත්ද්‍රව්‍ය වැනි වෙළදාමෙහිද නියුක්තව සිටිනු පෙනේ. මේ තත්ත්වය වෙනස් කිරීම කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමකි. මාධ්‍යවේදීනට කඩිනමින් ශික්ෂණයක් ඇවැසිව තිබේ.
  • තරගකාරී ආයතන කීපයක් වෙනුවෙන් සේවයෙහි නියුක්ත මාධ්‍යවේදීනට ගැටලුවක් මතුවූ විට පෙනී සිටින යාන්තර්ණයක් අත්‍යවශයව ඇත.
  • මාධ්‍ය ආයතන සංවර්ධනාත්මක පුවත් නොව, ජනප්‍රිය පුවත් බහුල වශයෙන් තෝරාගැනීමෙන් ජනමාධ්‍ය ජනතාවගේ සැබෑ ප්‍රශ්න සංවාදයට නොගන්නා බව පැහැදිලි වෙයි.
  • තරුණ හා ළමා පරපුරෙහි සුභසිද්ධිය වෙනුවෙන් මාධ්‍ය නියාමනයක් අත්‍යවශ්‍ය වේ.මාධ්‍යයේ බලපෑම සම්බන්ධව කොතෙක් අධ්‍යයනය කළද පිළිතුරක් නැත.
  • මෙබදු නියාමනයක් සම්බන්ධයෙන් සංවාදයක් කෙරෙන මොහොතක, විදුහල්පතිවරුන්ට,ගුරුවරුන්ට,සිසුන්ට ඇරයුම් කිරීම සතුටකි.
  • ප්‍රවෘත්ති පත්‍ර සමහරෙක දැන්වීම් ආදී වෙනත් අතිරේක ලබා දෙයි.ඒ සමහරක් අතිරේක මගින් පාතාල ලෝකයේ දාමරිකයන් , වීරයන් තත්ත්වයට නංවයි.එබදු තත්ත්ව වහාම වෙනස් කළ යුතුව තිබේ.
  • රූපවාහිනි මාධ්‍යයේ ප්‍රවෘත්ති මගින් විදෙස් පුවත් සදහා වෙන් කෙරෙන කාලය ක්‍රමිකව අඩුවෙමින් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස පාසල් සිසුන් අතර අග්නිදිග ආසියාව පිළිබදව පවා දැනුවත් බව අඩුය.
  • වකුගඩු වැනි නිදන්ගත රෝග පවා විකුණාගෙන කන තැනට මාධ්‍ය පත්ව තිබේ.
  • දරුවන්ගේ මාධ්‍ය ඇබ්බැහිය නිසා අනාගතයේදි ඇතිවිය හැකි දුර්විපාක නවත්වාලීමට මෙම පනතට හැකියාවක් තිබේද?
  • ජනමාධ්ය ආයතන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නේ තම තමුන්ගේ ස්ථාවරයයි.
  • සමහර මාධ්‍යවේදීන් රූපවහිනියේ අදහස් පළ කරන්නේ සිය පරිණතභාවය ප්‍රදර්ශනය කරමින් නොව ජනප්‍රියත්වය පිණිසද යන්න ප්‍රශ්නාර්ථයකි.
  • වර්තමානයෙහි මාධ්‍ය සිය තරගකාරීත්වය හා ජනප්‍රියත්වය තවත් වැඩි කරලනු පිණිස "සත්කාර" නමින් ව්‍යආපෘති වල නියැළෙමින් සිටී. විචාරශීලි ග්‍රාහකයා එයද වටහාගනිමින් සිටී.
  • මෙම මණ්ඩලය සම්බන්ධව කෙරෙන පත්වීම්හි ස්වාධීනත්වය හා සාධාරණත්වය පිළිබදව ගැටලුවක් මතුවිය හැකිය.විධායකය හා ව්‍යවස්ථාදායකය තීන්දු ගන්නා හා කටයුතු කරන ආකාරය ඊට බොහෝ දුරට තුඩු දෙයි.
  • මේ රට පැරණි පාලකයන්ගෙන් යහපාලනයට ගෙන ඒමට ජනතාව වෙනස් කළේ ජනමාධ්‍යයි.නමුත්, පක්ෂ මාරු කර,ජනතා සම්පත් කොල්ල කන දේශපාලකයන් පිළිබදව වාර්තා කරන්නට මාධ්‍යයට කිසිදු ශක්‍යතාවක් නැත. පනතෙන් එබදු හෙළිදරවු කිරීම්වලට සහයෝගයක් ලැබේද?
  • මෙම පනතෙන් වුවද නුදුරේදීම ලංකාවේ මාධ්‍ය භාවිතයේ සාධනීය වෙනසක් ඇති කිරීමට නොහැකි වනු ඇත යන්න පුරෝකථනයයි.

More Works